Wednesday, April 11, 2018

සංගීතයේ මළගම - අත්පුඩිය හුව විසිල් එක තද තද බ්‍රෝ....


A/L කරලා ෆන් එකේ ගෙදර හිටපු කාලේ රිසාල් ආවම ලස්සනට නැති උනා. ඒ කැම්පස් වල තියෙන apititude ටෙස්ට් වලට ක්ලාස් යන්න පටන් ගත්ත නිසා. ඔහොම ක්ලාස් යද්දී තමයි කැම්පස් අනද්යන කාර්ය මණ්ඩලය ආතල් ගන්න පටන් ගත්තේ. ඒත් ඉතින් ගෙදර ඉන්න අපිට එව්වා ඔට්ටු නෑ. ක්ලාස් එකේ මිස් සැලුනෙත් නෑ.  දිගටම හවස් වරුවට ක්ලාස් එකට වාර්තා කිරීමට අපිට නියෝග පැනෙව්වා. ඔහොම ක්ලාස් යන එන අතරේ මට දිගින් දිගටම සංගීත සංදර්ශන රාශියකට සහබාගි වීමේ වරමත් ලැබුණා. මියුසිකල් එකේ ටිකට් එක රුපියල් 3යි. සමහර දාට ෆ්‍රී. ෂෝ එක පැය කාලයි.

දැන් කට්ටිය බලයි මූ අමු කාලද කියල. මෙහෙමයි වෙන්නේ. ගෙදර ඉඳන් ටවුන් එකට බස් එකේ ටිකට් එක 17යි. ටිකට් එක ගන්න මන් කොන්දාස්තර මහත්තයට දෙන්නේ 20යි. කොන්දාස්තර මහත්තයා ඉතුරු දුන්නොත් ෂෝ එක ෆ්‍රී. නැත්නම් ඉතින් ෂෝ එක බලන්න ඉතුරු රුපියල් 3 ගියා කියල හිත හදාගන්නවා. ගෙදර ඉඳන් ටවුන් එකට යන්න පැය කාලයි. (ඉස්කෝල ඉවර වෙන වෙලාවට විනාඩි 20යි.) මියුසිකල් එක යන්නේ බස් එකේ අති අනර්ග ටීවී එකේ. එහෙම ෂෝ බලන්න කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා, ආත්ම දෙක තුනක් පින් කරලා, බලු කපුටු දාන දහයක් වත් දෙන්න ඕනේ. එතරම් මියුරුයි ඒ සංගීතය. එවන් සංගීතයක් අසන මේ සවන් කුමකටද?.

දැන් අපහු කට්ටිය බලයි මු අමු කාලද කියල. දැන් නම් අමු කාල වගේ තමයි.

ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුල තිබෙන අමිහිරිම සංගීත ශෛල්‍ය කුමක්ද  කියා යම් පුද්ගලයෙක් ඇසුවොත් මාගේ පිළිතුර බස් සංගීතයයි. එය කොතරම් අමිහිරිද යන්න සිතා ගැනීමටවත් නොහැකි තරම් ය. මෙයට බස් සංගීතය කියා හඳුන්වා මා විසින් බස් වලට සහ සංගීතයට කරා වූ අපහාසය වෙනුවෙන් මා විසින් මුලින්ම සමාව අයදිමි. නමුත් මෙය හැඳින්වීමට වෙනත් නමක් මා නොදනිමි. එබැවින් ඉදිරියටත් මෙයට බස් සංගීතය කියා ආමන්ත්‍රණය කිරීමට මා තීරණය කරමි.

යම් ගම්මානයක තරුණ පිරිසක් විසින් යම් යම් ආකාර වලින් මුදල් රැස් කොට කරන්නට දෙයක් නැතිම සහ ඇඟේ පතේ අමාරුව සුවකර ගැනීම සඳහා ගම්මානය තුල පවතිනා විසාල ක්‍රීඩාංගනයක් තෝරාගෙන පවත්වන්නා වූ අති අනර්ග සංගීත සංදර්ශනයකි. මෙම සංගීත සංදර්ශනය සඳහා තරුණයන් විසින් මුදල් ගෙවා ගෙන්වන්නේ තවන් ඔවුන් මෙන් තරුණ පිරිසකි. ඒම තරුණ පිරිසේ විශේෂත්වය වන්නේ ඔවුන් සංගීත භාණ්ඩ ගැසීමට දැන සිටීමයි. (වාදනයට නොවේ) මෙලෙස සංගීත කණ්ඩායම් ලෙස නම් දරා සිටින ඔවුන්ට පැමිණ සංගීත භාණ්ඩ ගැසීමට ගම්මානයේ තරුණ පිරිස දිනයක් හා වෙලාවක් ලබාදේ. ඒම දිනය සඳහා සංවිධායක තරුණ පිරිසේ නෑදෑ හිත මිතුරන් ගෙවල් වල වැඩක් නැති ගැහැනුන්, වේලි වේලි සිටිනා පිරිමින්, මාළු බෑමට පැමිණෙන කොල්ලන්, බිලී කොක්කට අසුවීමට පැමිණෙන කෙල්ලන් සහ ඒම කෙල්ලන්ගේ ආරක්සාවට පැමිණෙන ආරක්සක කෙල්ලන් සහභාගී වේ. දන්නෝ බුදුන්ගේ ගීතයේ වාදනය සමග ආරම්භ වන්නාවූ මෙම අපුර්ව සංගීතය තුල පිරිසක් විසින් පොල්තෙල් පහන් ආලෝකමත් කිරීමක්ද සිදුකරනු ලබයි. එලෙස වන්නේ කාගේ සිත සුවවීම පිණිස දැයි මා නොදනිමි. මෙම උත්කර්ෂවත් අවස්ථාවට පැමිණෙන්නා වූ තවත් විසේස පුද්ගලයෙකි. ඒ ඒම ප්‍රෙදේශයේ ඇමති තුමා හෝ මන්ත්‍රී තුමාය.

දන්නෝ බුදුන්ගේ සංගීත ඛණ්ඩයට පසුව ඉතා විශාල ටකරන් හඬක් අසුනේ නම් ඒ මෙම සංදර්ශනයේ ආරම්භයයි. මුලින්ම ගායන සහ වාදන සිදුකරනු ලබන්නේ සංගීත කණ්ඩායමේ තරුණ පිරිස විසිනි. මෙම තරුණ පිරිස ටි ශර්ට් එකක් සහ ඩෙනිමකින් සැරසී කෝට් එකක් පැළඳ සිටී. ඔවුන් අතර කොන්ඩයෙක් සහ තට්ටයෙක් අනිවාර්යෙන් සිටී. ඔවුන්ගේ අමිහිරි ගීත අතර සිංහල, දමිල, ඉංගිරීසි, බර්ගර් සහ ආදිවාසි ගීත ඇතුලත් වේ. මොවුන් ගායනයේ සහ වාදනයේ යෙදෙන අතර නර්තන කිහිපයක් ද දැකගත හැකි වේ. මෙම නර්තන ඉදිරිපත් කිරීමට බහුලව පැමිණෙන්නේ ගම්මානයේම නර්තන කණ්ඩායමක් වන අතර සංවිධායක තරුණ පිරිසේ දැන හැඳුනුම් කම් මත එය වෙනස් වීමට ඉඩ ඇත. නර්තන කණ්ඩායම් බුරි ඩාන්ස් කණ්ඩායම් ලෙස හඳුන්වන අතර ඔවුන්සේ සියලු ඇඳුම් වල බුරිය විශේස කොට විදහා දක්වන ආකාරයක් දැකගත හැක.


සංගීත කණ්ඩායම විසින් විටින් විට යම් යම් වචන වාක්‍ය සහ චේද බාවිතා කරනු ලබයි. ඒවා මෙසේ විය හැක
-               - හූවක් ඕනේ......
-               - ඉස්සරහ නංගිලා දෙන්නකෝ අනේ සද්දයක්.
-               -  ඔය පිටිපස්සේ මල්ලිලා සද්දයක් ඕනේ
-               -  අත්පුඩිය හුව විසිල් එක තද තද බ්‍රෝ....
ඉහත ආකාරයට අමතරව තවත් බොහෝ දෑ ඔවුන්ගේ භාෂාවේ අඩංගුය. තවද සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් පැමිණ සංගීත සංදර්ශනය නරඹන කෙල්ලෙක් ඉදිරියට ගෙන ඇය සමග උඩරට පහතරට පිටරට සබරගමු සහ සියලු වන්නම් නැටීම තවත් විසේසිත අංගයක් වේ. අවසානයේ අහස පොලොව නුහුලන වනචර කතාවක් පවසා කෙල්ලව වේදිකාවෙන් බැස්සවීම සිදුකරනු ලබයි.

තවත් විසේස අංගයක් ලෙස ඉංගිරීසි ගීත ගායනය සංගීත සංදර්ශන වල දැකගත හැක. මෙම ගායනය බොහෝ විට කතන්දර කියනා ආකාරයට සිදුවන අතර එය ගායනා කරන පුද්ගලයා කිරිපණු අමාරුව සෑදුන එකෙකු මෙන් දඟලිමද සිදුවේ. ගායනා කරන සින්දුව ගායකයාටවත් ශ්‍රාවකයාට වත් තේරෙන්නේ නැත.


සංගීත කණ්ඩායමට අමතරව මෙම සංදර්ශනය සඳහා ආරාධිත ගායකයින් කිහිප දෙනෙකු පැමිණේ. ඔවුන් අතර
-                - අනුන්ගේ සිංදු ගායනා කරන පුද්ගලයන්.
-                -  තමන්ගේ සින්දු අනුන් මෙන් ගායනා කරන පුද්ගලයන්.
-                - පුතීලා සහ දුවීලා
-                - කොටෙක් සහ සද්දන්තයෙක්
-                - මැරයෙක්
අඩංගු වේ. ඉතා උත්කර්ෂවත් සංගීත සංදර්ශන වල සහභාගී වන ඇමති ගොල්ලොද ගීතයක් දෙකක් කතන්දර ආකාරයට පැවසීම ද වාසනාව ඇතොත් දැකගත හැක.

මෙලෙස පැවැත්වෙන්නා වූ ඇති උත්කර්ෂවත් උළෙල තුල ඉදිරියෙන්ම ඇමති මන්ත්‍රී උසස් යයි කියාගන්නා පුද්ගලයන් සිටී. ඔවුනට පිටුපසින් අනුග්‍රාහක බවතුන් සහ නිකන් ටිකට් ලැබුණු පුද්ගලයන් සිටී. මෙම දෙකොට්ටාසයම නිදිකිරමින් සිටීම බහුලව දැකගත හැකි කරුණකි. ඔවුනට පිටුපසින් මාළු බෑමට පැමිණි සහ ඇම කෑමට පැමිණි අයවලුන් සහ ඔවුන්ගේ ඤාතීන් සිටී. ඔවුන් බහුතරය සිටගෙන කුඩා ඉහලාගෙන සිටී. ඔවුනට පිටුපසින් කූට ව්‍යාපාරිකයන් සිටින අතර ඔවුනට පිටුපසින් කුඩු ගංජා මත්ද්‍රව්‍ය ගත් මෙලෝ සිහියක් නොමැතිව නටනා පිරිස සිටී. ඔවුන් බොහෝ විට මඩ නෑම බිම පෙරලීම සහ සියලුම ආකාරයේ ඌරු ක්‍රියා සිදුකරනු ලබයි.

මෙම අවස්ථාව තවත් කණ්ඩායම් විසින් පටිගත කරන අතර ඔවුන්ගේ කැමරා කාචයට සංගීත කණ්ඩායම, ඔවුන්ගේ පිළිකුල් සහගත සංගීතයට හෙළුවැලි නැටුම් නටනා බුරි ඩාන්ස් කණ්ඩායම,. ඒම සිදුවීම දෙස දැහැනට සම වැදී සිටින ලස්සන කෙල්ලෙක් දෙන්නෙක් සහ පිටුපස මෙලෝ සිහියක් නැතුව නර්තනයේ යෙදෙන තරුණ පිරිස් හසුවේ.

මෙලෙස පටිගත වෙන සංදර්ශනය ඩිවිඩි තැටි ලෙස නිකුත් වන අතර ඒම සංදර්ශන බස් රිය තුල විශේස ආකාරයෙන් පෙන්වීම හේතු කොටගෙන මෙම සංදර්ශන සඳහා බස් සංගීත සංදර්ශන ලෙස නම් ලැබී ඇතැයි මාගේ මතයයි.


සෑම ගමකම මෙලෙස තරුණ පිරිස් සංගීත සංවිධානය කරන අතර ඇටැක් ෂෝ ලෙස ගමකට එරෙහිව නොදෙවෙනි ආකාරයෙන් තවත් ගමක සංවිධානය කරන සංගීත සංදර්ශන හඳුන්වනු ලබයි.

මෙවන් මියුරු සංගීත සංදර්ශන දිනපතා නැරඹීමේ භාග්‍ය ඇත්තේ ලාංකිකයන් වූ අපිට පමණක් වන අතර. සියල්ල පරිහානිය කරා ගමන් ගන්නා මෙම යුගයේ සංගීත කලාව තුල සිදුවන්නාවූ මෙම පිබිදීම සම්බන්ධව අපි ප්‍රීති වියයුතුද දුක් වියයුතුද යන්න පිලිබඳ සිතිය යුතුය.

4 comments: