Monday, November 5, 2018

දේශපාලන වහලුන්


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආතල් ලන්තයේ අති ගරු ජනාදිපතිතුමා මෑතකදී ගත් ඉතාමත් විශිෂ්ඨ වුත් ඇති උත්කර්ෂවත් වූත් තීරණයක් හේතුවෙන් අමන්දානන්දයට පත් ජනතාවගේ ආතල් ඉස්මොල්ලේ ගොස් ඇති වූ තත්වයේ පසු විපරුමේ එක්තරා කොටසක් ලෙස කිසිදු දේශපාලන පක්ෂයකට අනුගත නොවී පොදු අපේක්ෂකයෙකු වශයෙන් අප්පයක් කා ප්ලේන්ටියක් බී මෙම ලිපිය ලිවීමට තීරණය කලෙමි.

ලාංකීය ජන සමාජය තුල විවිධාකාර වූ පුද්ගලයන් සිටී. මෙම පුද්ගලයන් විවිධ නිර්ණායක යටතේ වර්ග කල හැකි අතර දේශපාලන වහල් නිර්ණායකය යටතේ වර්ග කිරීමේදී
  1.        වත්මන් දේශපාලනික තත්වය , ආර්ථිකය , සමාජ සම්බන්දතා යන සියල්ල විශ්ලේෂණය කරමින් තමන්ට අවේනික මතයක් ගොඩනගා ගන්නා පුද්ගලයන්
  2.        නැව ගිලුනත් බෑන් චූන් යන්න තේමා පාඨය කරගනිමින් තමන් හම්බකරගන්නා දේ කා බී ජිවත් වන පුද්ගලයන්
  3.        තම පරම්පරාවම අදහන්නා වූ දේශපාලන පක්ෂය ඉස් මුදුනේ තබාගෙන දේශපාලන වහල් බාවයට උප්පත්තියෙන්ම පත් පුද්ගලයන්.
  4.        බෝක්කුවක් උඩ කල්මරමින් සිටියදී ලැබුණු සුළු ප්‍රතිලාභ හේතුවෙන් දේශපාලනඥයන් ගේ සියලුම පර වැඩ ( පුක සේදීමේ සිට ) සිදුකරන්නා වූ දේශපාලන වහලුන්
ලෙස වර්ග කල හැක.

ඉහත සඳහන් වර්ග කිරීමේ දී 1 සහ 2 යන කාණ්ඩ වලට අයත් පුද්ගලයින් ඍජු දේශපාලන වහලුන් නොවන අතර ඔවුන් 3 සහ 4 යන කාණ්ඩ වල සිටින්නා වූ අයගේ නොමනා පහත ක්‍රියා කලාප හේතුවෙන් වක්‍රව දේශපාලන වහලුන් බවට පත් වූවෝ වෙති. 1 සහ 2 යන කාණ්ඩ වල සිටින පුද්ගලයන් කිසිසේත් භයානක නොවන අතර 3 කාණ්ඩයේ පිරිස යම්තාක් දුරට භයානක වේ. 4 වන කාණ්ඩයේ පිරිස අතිශය භයංකාර පිරිසක් වන අතර ඔවුන්ගේ ක්‍රියා යම් යම් අවස්ථා වල දී ඉතා සැහැසි තුජ්ජ මිලේච්ඡ තත්වයන් ගන්නා අතර දේශපාලනික ව ළඟ සිටින එකාව වුවද මරාගෙන කෑමට පවා පසුබට නොවන පිරිසක් වේ.

තම පරම්පරාවම ඉස්මුදුනේ තාබාගෙන් සිටින්නාවූ දේශපාලන පක්ෂය තමන්ගේ දේශපාලන පක්ෂය ලෙස පිළිගනිමින් වහල්භාවයට පත්වන්නාවූ 3 කාණ්ඩයේ පුද්ගලයින් විවිධාකාර වේ. ඔවුන්ගෙන් සමහරක් පිරිස තමන් බැඳී සිටින පක්ෂයේ ආරම්භක සාමාජිකයාව පවා දන්නේ නැත. තවද ඔවුන් තම රටේ ආර්ථිකය පිළිඹඳ කිසිඳු අදහසක් නොමැතිව සිටින්නාවූ පුද්ගලයන් වන අතර ඔවුන් දන්නා එකම දේ වන්නේ තම වැඩිහිටියන් වහලුන් සේ බැඳී සිටී පක්ෂයටම තමන් වැඩ කල යුතු බවය. තවද මොවුන්ට තමන් බැඳී සිටින පක්ෂයේ නායක ගෙම්බන්ගේ පක්ෂ මාරු පිමි පවා නොදක සිටීමට තරම් ඔවුන් අන්ද භාවයට පත්ව සිටී. ඔවුනට  අවශ්‍ය වන්නේ හෙන 7 වැදුනද පාරම්පරික පක්ෂය වෙනුවෙන් පෙනී සිටීම පමණි.

ඉතා භයානක දේශපාලන වහලුන් පිරිසක් වූ 4 වන කණ්ඩායමේ සාමාජිකයන් හඳුනාගැනීමට ඔබට අපහසුනම් රාත්‍රී 10 – 12 අතර කාලය තුල ඔබ ජිවත් වන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථාන වල ( ගමේ හන්දියේ , ට්‍රිවිල් පාක් අසල ) ඔබ අහම්බෙන් ගමන් කරනා ආකාරයට ගොස් බලන්න. දේශපාලන නායකයින්ගේ උපන්දින සුභපැතුම් බැනර් , ජන්මදින බැනර්, පක්ෂ සුභපැතුම් බැනර් , තොරන් , පෝස්ටර් , සියලුම ආකාරයේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට මොවුන් බැඳී සිටී මෙලෙස ප්‍රචාරණ කටයුතු කරනු ලබන්නේ සාමාන්‍ය දුප්පත් දේශපාලන වහලුන් වන අතර මෙම කාණ්ඩයට අයත් පොෂ් වහලුන් ද සිටී. මෙම පොෂ් වහලුන් ෆේස්බුක් වැනි සමාජ ජාලා ඔස්සේ තම ප්‍රචාරණ කටයුතු සිදුකරන අතර ඔබ ඔබගේ ෆේස්බුක් ගිණුමේ උඩට පහලට දෙතුන් වතාවක් ගියහොත් ඔබට ඔවුන්ගෙන් විශාල පිරිසක් හඳුනා ගැනීමේ හැකියාව ලැබේ.

මෙම පොෂ් වහලුන් අතරින් ඉතාමත් පොෂ් නොහොත් උපරිම පොෂ් මට්ටමට පත් වූ වහලුන් ගේ ක්‍රියාකලාපය ඉහත දෙආකාරයටම වඩා වෙනස් වේ. මොවුන් දේශපාලනඥයන් අසලින් ම හිඳිමින් ඔවුන්ගේ දෙනික ක්‍රියා පින්තුර ගනිමින් තම ගිණුම් වල පළකර ගනී. උදාහරණයක් ලෙස උදෑසන ව්‍යායාමයේ යෙදෙන දේශපාලනඥයා සමග ව්‍යායාම කරමින් මොවුන් ඔහු සමග පින්තුර ගෙන පල කරයි. තවද ඔහු සහබාගි වන උත්සව සියල්ලටම මොවුන්ද සහබාගි වී පින්තුර ගෙන පල කරයි. දේශපාලනඥයන් ගේ මිතුරන්ගේ උපන්දින වලට මොවුන්ගේ ගිණුම් වලින් සුභ පතයි. මෙලෙස දහසකුත් ක්‍රියා කරමින් දේශපාලන වහල් සේවයේ මොවුන් ද නිරත වේ.

බැනර් තොරන් ගසමින් වහල් සේවයේ නිරත වන්නාට කොත්තුවක්, සිගරට් පෙට්ටියක්, වැනි සුළු අංග කිහිපයක් ලැබෙන අතර පොෂ් වහලුන් සඳහා ෆේස්බුක් ගිණුම් වල පල කරන කිසිවකටවත් කිසිඳු මුදලක් හෝ කිසිඳු දෙයක් ලැබෙන්නේ නැත ( පශ්චාත් භාගයේ ඉත්තෑවන් සිටින පිරිස ). මොවුන් අතරින් ඉතාම උත්කර්ෂවත් අන්දමින් වහල් සේවයේ නිරත වන දේශපාලනඥයන් ගේ වටේ සිටින උසස් පොෂ් සමාජයේ පිරිසයි. මොවුන් දේශපාලනඥයා නමින් මිඩියා යුනිට් සාදාගෙන් මුදල් උපයමින් වහල් සේවයේ නිරත වේ. මොවුන්ට අහම්බෙන් රට සවාරි යාමට පවා හමුවන අතර මෙම පිරිස ලක්සෙට කොඩි දමා ජිවත් වේ.

ඔබ නිදහසේ උපදින්නේ නම්. නිදහසේ ඉගනගන්නේ නම් නිදහසේ මියයන්නේ නම් ජිවත් වන ඉතුරු කාලයේ තම නිදහසින්ම වෙනත් දේශපාලුවෙකුගේ අතකොළුවක් වී දේශපාලන වහලෙක් වන්නේ දැයි ඔබම තීරණය කරන්න.

තොප්පිය දමාගැනීම ඔබ සතුයි අනවශ්‍ය ආරවුල් ඇති කිරීමෙන් වළකින්න.

Monday, April 23, 2018

නිරාගමිකයාගේ සටහන.



මා නිරාගමිකයෙක් මි.
සියලු ආගම් මා විසින් ප්‍රතික්ෂේප කරමි.
එකල මා දෙවියන් යැද්දේ විභාගය සමත් කර දෙන මෙනි,
පගාව වශයෙන් පළතුරු වට්ටියක් දී සුදු පාන්කඩයක පහේ කට්ටයක් එතුවෙමි.
නමුත් සිතූ ලෙස නොවිනි.
එදින සිට මා නිරාගමිකයෙක් මි.

මා නිරාගමිකයෙක් මි.
දෙවියන් ලෝකය දින සතකින් මැවීම බොරුවක් ලෙස මා දකිමි.
මන්ද ජීවයේ බිහිවීම වසර බිලියන ගණනක ක්‍රියාවලියකි.
සිදුහත් පියුම් පිට වැඩීම බොරුවක් ලෙස මා දකිමි.
මන්ද ළදරුවෙකුට ඇවිදීමට අවුරුද්දක් පමණ ගතවේ.
විද්‍යාව සුළුවෙන් දැන සිටීම මා හට ප්‍රමාණවත් ය.

මා නිරාගමිකයෙක් මි.
රත්තරන් ගෙම්බෙකු මේසය මත තබා සිටීම මාගේ සිතට සතුටක් ගෙන දේ,
ගෙම්බා තබා සිටින පීරිස්සට මාරු කාසි දැමීම මාගේ විනෝදාංශය වී ඇත.
තවද මා විනෝදාංශ වශයෙන් පාෂාණ සහ පිරමිඩ එකතු කරමි,
ඒවායින් විශ්වීය ශක්තියක් මා කෙරේ ජනිත වේ.
නිරාගමිකයෙක් වීමේ සැපත ඉන් මා හට අත්වේ.

මා නිරාගමිකයෙක් මි.
මා ධර්මිෂ්ටයෙකු බව මා හට හැඟේ
එබැවින් මා කිසිදු ධර්මයක් අනුගමනය කිරීමට නොපෙළඹෙමි.
සියලු ආගම් අභිබවා මා ගමන් කොට ඇත
එබැවින් ආගම් විවේචනය කිරීමේ හැකියාව ද මේ වන විට මා හට ලැබී ඇත.
මා සියලු ධර්මතා විවේචනයට ද පසුබට වන්නේ නැත.
මන්ද මා නිරගමිකයෙක් මි.


WARNING
තොප්පිය දාගන්නේ නම් අනුවන ආකාරයෙන් හැසිරීමෙන් වළකින්න.

Sunday, April 22, 2018

රා කැන්ටිම.

පයාගල, ඉතා සුන්දර වෙරළාසන්න ගම්මානයකි. බහුතරයක් ධීවර ජනතාව වෙසෙන මෙම ප්‍රදේශය මර්වින් පෙරේරා වැනි ඉතා දක්ෂ කලාකරුවන්ගේ වාස භුමිය බවට පත් වූ ග්‍රාමයකි. කෙසේ නමුත් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පුද්ගලයෙකුගෙන් පයාගල පිළිබඳව ඇසුවහොත් ඔහුට මුලින්ම මතකයට එන්නේ පයාගල රා වල මිහිරයි. (පුද්ගලයා අමු බෙබෙක් නම් පයාගල කියූ සැනින් රා කැන්ටිම යන වචනය කීම විශේෂිත වේ)

පයාගල යන නාමය ජාත්‍යන්තරයේ බැබලවීමට රා කැන්ටිම කරනු ලබන්නේ අනුපමේය සේවයකි. මෙම රා කැන්ටිම කවදා කෙසේ ආරම්භ වුවක් දැයි කිසිවෙකු නොදනී. නමුත් මෙම රා කැන්ටිම පුරාණ රජකාලේ සිට පැවත එන බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මන්ද යත් වරක් දුටුගැමුණු රජතුමා ද රට පුරා සංචාරයක නියැලෙමින් සිටියදී පයාගල ග්‍රාමයට පැමිණ රා පානය කල බව පයාගල ග්‍රාමයේ වැඩිහිටියන් කුඩා දරුවන්ට පවසන ඉතා ප්‍රසිද්ධ කතන්දරයකි.

පයාගල ග්‍රාමයේ උතුරට වන්න (කුඩා පයාගල) පිහිටා ඇති මෙම රා කැන්ටිම ප්‍රමාණයෙන් විශාල වූ භුමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී. වෙනත් රා පොළවල් වල මෙන් පොල් අතු පැලවල් වල නොව ඉතා ආකර්ශනීය ලෙස තනන ලද සිමින්ති දමා ස්ථිර වශයෙන් ම තැනූ ගොඩනැගිල්ලක් තුල රා වෙළදාම සිදු කිරීම මෙම රා කැන්ටිමේ විශේෂත්වය වේ. එලෙසම ඒම ස්ථානයේ සිටම සුවපහසු ආකාරයට රා පානය කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දීමද මෙම රා කැන්ටිමේ සුවිශේෂී තාවයක් වේ.

රා කැන්ටිමට සමගාමීව රා බොන පුද්ගලයන් සඳහා අවශතා සපුරන වෙනත් ව්‍යාපාරද මෙම භුමිය තුල දැකගත හැකිය. රටකජු බයිට් වැනි දෑ ඒ අතර වේ. තවද රා මිලදිගෙන් ගෙදර ගොස් පානය කරන අය සඳහා රා කැන්ටිම අවට ඌරු මස් මිලදී ගැනීමට ස්ථාන රාශියක් පැවතීම පයාගල රා කැන්ටිම සුවිශේෂ වීමට තවත් ඒක හේතුවක් වී ඇත.

රා කැන්ටිම මගින් රා පානය කරන පුද්ගලයන් වයස් අනුව බෙදා වෙන් කල හැකිය.

  • අවුරුදු 21 – 30 දක්වා වයස් වල සිටින පිරිස - මොවුන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් සහ ඇත්තෙම නැති තරම් ය. කලාතුරකින් ඇබ්බැහි වූ අයෙක් දෙදෙනෙක් දැකගත හැකිය.
  • අවුරුදු 30 – 50 දක්වා වයස් වල සිටින පිරිස - මොවුන් අතර බහුතරය රා පානය කරනු ලබයි. නමුත් දිනපතා පානය කරනු ලබන්නන් දැකගත හැකිවන්නේ කලාතුරකිනි. නමුත් සෑම සති අන්තයකම රා පානය කරන්නන් බහුලව දැකගත හැකිය.
  • අවුරුදු 50 – 75 දක්වා වයස් වල සිටින පිරිස - මොවුන් අතර දිනපතා රා පානය කරනු ලබන පුද්ගලයින් දැකගැනීමේ හැකියාව පැවති. තවද රා කෙරෙහි ඇබ්බැහි වීමක් දැකගත හැකිය.
  • අවුරුදු 75+ දක්වා වයස් වල සිටින පිරිස - ඇඟට ෆිට් නම් දිනපතා රා කැන්ටිම වන්දනා කිරීමට පැමිණේ.

මෙලෙස වයස් අනුව රා කැන්ටිමට පැමිණීම හා රා පානය කිරීම දැක්විය හැකිය.



රා කැන්ටිමෙන් රා බොන්නන් අතර විශේෂිත කොට දැකිවිය හැකි පුද්ගලයින් රාශියකි.

පයාගල ග්‍රාමයේ ප්‍රධාන මාර්ගය හැර මුහුද පැත්තට වන්න තවත් මාර්ගයක් ගම මැදින් පැවති මෙම මාර්ගය භාවිතා කරමින් රා කැන්ටිම කරාද ගමන් කල හැකිය. පයාගල මහා පල්ලිය සිට ආරම්භ වන මෙම මාර්ගය දෙපස පයාගල ග්‍රාම වාසින් ගේ නිවාස පවතී. දිනපතා රා බොන සමහරක් පිරිස මෙම මාවතේ දෙපස පිහිටි නිවාස වලින් තාම ආහාරය ලබා ගැනීම සඳහා මුදල් සිගාකමින් ගමන් කරයි. ඔවුනට එක ගෙදරකින් රුපියලක් ලැබුනද සෑහීමකට පත්වේ. මන්ද යත් ඔවුන්ගේ ගමනාන්තය ඇත්තේ රා කැන්ටිම තුලය. ඔවුන් ගෙවල් වලින් සිඟා කමින් රා බොන්නන් වේ.

දිනපතා රා බොන දෙවන කොටස වන්නේ උදැසන සිට කුලී වැඩ කොට උපයන මුදලින් සවස් වරුවේ රා කැන්ටිමට ගොස් රා බොන පිරිසයි. මොවුන්ගෙන් කිසිවෙකුට හානියක් නොවන අතර හානියක් සිදුවනවානම් සිදුවන්නේ මොවුන්ගේ පවුල් වල අයටය. තවද රා මතින් සිටින මොවුන් කර මතින් ගෙදර ගෙනයාමටද පවුල් වල යට සිදුවේ.

තුන්වන කොටස දිනපතා රා බොන අය නොවේ. මොවුන් විවිද ආයතන වල සේවය කරන පුද්ගලයන් ය. මොවුන් මාසයට දවස් දෙකක් හෝ තුනක් (තමාට නිවාඩු ඇති ලෙස) රා කැන්ටිමට පැමිණ රා පානය කරනු ලබයි. මොවුන්ගේ විශේෂත්වය වන්නේ මොවුන් රා බොන දිනට වෙනදා මෙන් වැඩට යන ආකාරටය තාම භාර්යාවගෙන් බත් පාර්සලයද රැගෙන සුපුරුදු ආකාරයට නිවසින් එලියට පැමිණීමයි. මෙලෙස පැමිණෙන මොවුන් නතර වන්නේ රා කැන්ටිමෙන් වන අතර උදෑසන රා බී දහවල් කාලයේ වැල්ලට ගොස් තාම බත් මුල කා සවස් වන තෙක් පොඩි නින්දක් දමා සවසද රා බී වැඩ අවසන් වන වෙලාවට ගෙදර යාම මොවුන් සිදු කරයි. ඉහත දක්වූ දෙකොට්ටාශයටම වඩා ඔවුන් සාර්ථකය.



රා කැන්ටිමෙන් රා බොන පිරිස් සම්බන්ධව රස කතා රාශියකි.

දිනක් මා ගමන් කල බස් රථයට රා කැන්ටිම අසලින් රා බී උච්චතම අවස්ථාව නොහොත් ස්වර්ගස්ථ වූ අවස්ථාවට පත් පුද්ගලයෙක් නැග්ගේය. ඔහු කොපමණ පාරිශුද්ධ භාවයට පත්ව සිටියද යත් ඔහු ඉඳගත් අසුනේ සිටී අනිත් පුද්ගලයා නැගිට ආචාර කිරීමටද විය. තවද කොන්දොස්තර මහතා ඔහුගේ ගමනාන්තය ඇසීම පමණක් සිදුකල අතර මුදල් ගැනීමද ප්‍රතික්ෂේප කලේය. ග්‍රැමෆෝන් යුගයේ ගීතයක් මුමුනමින් ගමන් කල  ඔහුගේ ගමනාන්තය බේරුවල වුවද ඔහු නගාගත් ස්ථානයේ සිට හෝල්ට් දෙකකට පසු කොන්දොස්තර මහතා බේරුවල බේරුවල යයි කෑගැසීම හේතුවෙන් කිසිඳු කතා බහකින් තොරව රා බී මත් වූ පුද්ගලයා බැස ගියේය. මෙය රා කැන්ටිම ඇති ප්‍රදේශය හරහා ගමන් ගන්නා බස් රථ වල කොන්දොස්තර මහත්වරු අනෙකුත් මගීන් ගේ සුබසිද්ධිය උදෙසා ගනු ලබන පියවරක් බව මා හට පසුව පසක් විය.

පයාගල රා කැන්ටිමේ නාමය ලොව පුරා බැබලවීමට රා බොන්නන්ගෙන් ලැබෙන සහයෝගය අපමණය. රා කැන්ටිම තව බොහෝ කාලයක් පවතිමින් ජනතාවට සේවයක් කිරීමටත් එමගින් පයාගල කීර්ති නාමය ලොව පුරා ජනිත කරවීමටත් වාසනාව ලැබේවා.

සැ.යු. - රා කැන්ටිමේ පින්තුරයක් ඒක කිරීමේ අවශ්‍යතාව තිබුනට පින්තුරයක් ගැනීමට ගොස් ගුටි කෑමට තරම් ශරීරයකට හිමිකම් නොකීම හේතුවෙන් ඒ පිළිබඳව සමාව ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

Wednesday, April 11, 2018

සංගීතයේ මළගම - අත්පුඩිය හුව විසිල් එක තද තද බ්‍රෝ....


A/L කරලා ෆන් එකේ ගෙදර හිටපු කාලේ රිසාල් ආවම ලස්සනට නැති උනා. ඒ කැම්පස් වල තියෙන apititude ටෙස්ට් වලට ක්ලාස් යන්න පටන් ගත්ත නිසා. ඔහොම ක්ලාස් යද්දී තමයි කැම්පස් අනද්යන කාර්ය මණ්ඩලය ආතල් ගන්න පටන් ගත්තේ. ඒත් ඉතින් ගෙදර ඉන්න අපිට එව්වා ඔට්ටු නෑ. ක්ලාස් එකේ මිස් සැලුනෙත් නෑ.  දිගටම හවස් වරුවට ක්ලාස් එකට වාර්තා කිරීමට අපිට නියෝග පැනෙව්වා. ඔහොම ක්ලාස් යන එන අතරේ මට දිගින් දිගටම සංගීත සංදර්ශන රාශියකට සහබාගි වීමේ වරමත් ලැබුණා. මියුසිකල් එකේ ටිකට් එක රුපියල් 3යි. සමහර දාට ෆ්‍රී. ෂෝ එක පැය කාලයි.

දැන් කට්ටිය බලයි මූ අමු කාලද කියල. මෙහෙමයි වෙන්නේ. ගෙදර ඉඳන් ටවුන් එකට බස් එකේ ටිකට් එක 17යි. ටිකට් එක ගන්න මන් කොන්දාස්තර මහත්තයට දෙන්නේ 20යි. කොන්දාස්තර මහත්තයා ඉතුරු දුන්නොත් ෂෝ එක ෆ්‍රී. නැත්නම් ඉතින් ෂෝ එක බලන්න ඉතුරු රුපියල් 3 ගියා කියල හිත හදාගන්නවා. ගෙදර ඉඳන් ටවුන් එකට යන්න පැය කාලයි. (ඉස්කෝල ඉවර වෙන වෙලාවට විනාඩි 20යි.) මියුසිකල් එක යන්නේ බස් එකේ අති අනර්ග ටීවී එකේ. එහෙම ෂෝ බලන්න කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා, ආත්ම දෙක තුනක් පින් කරලා, බලු කපුටු දාන දහයක් වත් දෙන්න ඕනේ. එතරම් මියුරුයි ඒ සංගීතය. එවන් සංගීතයක් අසන මේ සවන් කුමකටද?.

දැන් අපහු කට්ටිය බලයි මු අමු කාලද කියල. දැන් නම් අමු කාල වගේ තමයි.

ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුල තිබෙන අමිහිරිම සංගීත ශෛල්‍ය කුමක්ද  කියා යම් පුද්ගලයෙක් ඇසුවොත් මාගේ පිළිතුර බස් සංගීතයයි. එය කොතරම් අමිහිරිද යන්න සිතා ගැනීමටවත් නොහැකි තරම් ය. මෙයට බස් සංගීතය කියා හඳුන්වා මා විසින් බස් වලට සහ සංගීතයට කරා වූ අපහාසය වෙනුවෙන් මා විසින් මුලින්ම සමාව අයදිමි. නමුත් මෙය හැඳින්වීමට වෙනත් නමක් මා නොදනිමි. එබැවින් ඉදිරියටත් මෙයට බස් සංගීතය කියා ආමන්ත්‍රණය කිරීමට මා තීරණය කරමි.

යම් ගම්මානයක තරුණ පිරිසක් විසින් යම් යම් ආකාර වලින් මුදල් රැස් කොට කරන්නට දෙයක් නැතිම සහ ඇඟේ පතේ අමාරුව සුවකර ගැනීම සඳහා ගම්මානය තුල පවතිනා විසාල ක්‍රීඩාංගනයක් තෝරාගෙන පවත්වන්නා වූ අති අනර්ග සංගීත සංදර්ශනයකි. මෙම සංගීත සංදර්ශනය සඳහා තරුණයන් විසින් මුදල් ගෙවා ගෙන්වන්නේ තවන් ඔවුන් මෙන් තරුණ පිරිසකි. ඒම තරුණ පිරිසේ විශේෂත්වය වන්නේ ඔවුන් සංගීත භාණ්ඩ ගැසීමට දැන සිටීමයි. (වාදනයට නොවේ) මෙලෙස සංගීත කණ්ඩායම් ලෙස නම් දරා සිටින ඔවුන්ට පැමිණ සංගීත භාණ්ඩ ගැසීමට ගම්මානයේ තරුණ පිරිස දිනයක් හා වෙලාවක් ලබාදේ. ඒම දිනය සඳහා සංවිධායක තරුණ පිරිසේ නෑදෑ හිත මිතුරන් ගෙවල් වල වැඩක් නැති ගැහැනුන්, වේලි වේලි සිටිනා පිරිමින්, මාළු බෑමට පැමිණෙන කොල්ලන්, බිලී කොක්කට අසුවීමට පැමිණෙන කෙල්ලන් සහ ඒම කෙල්ලන්ගේ ආරක්සාවට පැමිණෙන ආරක්සක කෙල්ලන් සහභාගී වේ. දන්නෝ බුදුන්ගේ ගීතයේ වාදනය සමග ආරම්භ වන්නාවූ මෙම අපුර්ව සංගීතය තුල පිරිසක් විසින් පොල්තෙල් පහන් ආලෝකමත් කිරීමක්ද සිදුකරනු ලබයි. එලෙස වන්නේ කාගේ සිත සුවවීම පිණිස දැයි මා නොදනිමි. මෙම උත්කර්ෂවත් අවස්ථාවට පැමිණෙන්නා වූ තවත් විසේස පුද්ගලයෙකි. ඒ ඒම ප්‍රෙදේශයේ ඇමති තුමා හෝ මන්ත්‍රී තුමාය.

දන්නෝ බුදුන්ගේ සංගීත ඛණ්ඩයට පසුව ඉතා විශාල ටකරන් හඬක් අසුනේ නම් ඒ මෙම සංදර්ශනයේ ආරම්භයයි. මුලින්ම ගායන සහ වාදන සිදුකරනු ලබන්නේ සංගීත කණ්ඩායමේ තරුණ පිරිස විසිනි. මෙම තරුණ පිරිස ටි ශර්ට් එකක් සහ ඩෙනිමකින් සැරසී කෝට් එකක් පැළඳ සිටී. ඔවුන් අතර කොන්ඩයෙක් සහ තට්ටයෙක් අනිවාර්යෙන් සිටී. ඔවුන්ගේ අමිහිරි ගීත අතර සිංහල, දමිල, ඉංගිරීසි, බර්ගර් සහ ආදිවාසි ගීත ඇතුලත් වේ. මොවුන් ගායනයේ සහ වාදනයේ යෙදෙන අතර නර්තන කිහිපයක් ද දැකගත හැකි වේ. මෙම නර්තන ඉදිරිපත් කිරීමට බහුලව පැමිණෙන්නේ ගම්මානයේම නර්තන කණ්ඩායමක් වන අතර සංවිධායක තරුණ පිරිසේ දැන හැඳුනුම් කම් මත එය වෙනස් වීමට ඉඩ ඇත. නර්තන කණ්ඩායම් බුරි ඩාන්ස් කණ්ඩායම් ලෙස හඳුන්වන අතර ඔවුන්සේ සියලු ඇඳුම් වල බුරිය විශේස කොට විදහා දක්වන ආකාරයක් දැකගත හැක.


සංගීත කණ්ඩායම විසින් විටින් විට යම් යම් වචන වාක්‍ය සහ චේද බාවිතා කරනු ලබයි. ඒවා මෙසේ විය හැක
-               - හූවක් ඕනේ......
-               - ඉස්සරහ නංගිලා දෙන්නකෝ අනේ සද්දයක්.
-               -  ඔය පිටිපස්සේ මල්ලිලා සද්දයක් ඕනේ
-               -  අත්පුඩිය හුව විසිල් එක තද තද බ්‍රෝ....
ඉහත ආකාරයට අමතරව තවත් බොහෝ දෑ ඔවුන්ගේ භාෂාවේ අඩංගුය. තවද සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් පැමිණ සංගීත සංදර්ශනය නරඹන කෙල්ලෙක් ඉදිරියට ගෙන ඇය සමග උඩරට පහතරට පිටරට සබරගමු සහ සියලු වන්නම් නැටීම තවත් විසේසිත අංගයක් වේ. අවසානයේ අහස පොලොව නුහුලන වනචර කතාවක් පවසා කෙල්ලව වේදිකාවෙන් බැස්සවීම සිදුකරනු ලබයි.

තවත් විසේස අංගයක් ලෙස ඉංගිරීසි ගීත ගායනය සංගීත සංදර්ශන වල දැකගත හැක. මෙම ගායනය බොහෝ විට කතන්දර කියනා ආකාරයට සිදුවන අතර එය ගායනා කරන පුද්ගලයා කිරිපණු අමාරුව සෑදුන එකෙකු මෙන් දඟලිමද සිදුවේ. ගායනා කරන සින්දුව ගායකයාටවත් ශ්‍රාවකයාට වත් තේරෙන්නේ නැත.


සංගීත කණ්ඩායමට අමතරව මෙම සංදර්ශනය සඳහා ආරාධිත ගායකයින් කිහිප දෙනෙකු පැමිණේ. ඔවුන් අතර
-                - අනුන්ගේ සිංදු ගායනා කරන පුද්ගලයන්.
-                -  තමන්ගේ සින්දු අනුන් මෙන් ගායනා කරන පුද්ගලයන්.
-                - පුතීලා සහ දුවීලා
-                - කොටෙක් සහ සද්දන්තයෙක්
-                - මැරයෙක්
අඩංගු වේ. ඉතා උත්කර්ෂවත් සංගීත සංදර්ශන වල සහභාගී වන ඇමති ගොල්ලොද ගීතයක් දෙකක් කතන්දර ආකාරයට පැවසීම ද වාසනාව ඇතොත් දැකගත හැක.

මෙලෙස පැවැත්වෙන්නා වූ ඇති උත්කර්ෂවත් උළෙල තුල ඉදිරියෙන්ම ඇමති මන්ත්‍රී උසස් යයි කියාගන්නා පුද්ගලයන් සිටී. ඔවුනට පිටුපසින් අනුග්‍රාහක බවතුන් සහ නිකන් ටිකට් ලැබුණු පුද්ගලයන් සිටී. මෙම දෙකොට්ටාසයම නිදිකිරමින් සිටීම බහුලව දැකගත හැකි කරුණකි. ඔවුනට පිටුපසින් මාළු බෑමට පැමිණි සහ ඇම කෑමට පැමිණි අයවලුන් සහ ඔවුන්ගේ ඤාතීන් සිටී. ඔවුන් බහුතරය සිටගෙන කුඩා ඉහලාගෙන සිටී. ඔවුනට පිටුපසින් කූට ව්‍යාපාරිකයන් සිටින අතර ඔවුනට පිටුපසින් කුඩු ගංජා මත්ද්‍රව්‍ය ගත් මෙලෝ සිහියක් නොමැතිව නටනා පිරිස සිටී. ඔවුන් බොහෝ විට මඩ නෑම බිම පෙරලීම සහ සියලුම ආකාරයේ ඌරු ක්‍රියා සිදුකරනු ලබයි.

මෙම අවස්ථාව තවත් කණ්ඩායම් විසින් පටිගත කරන අතර ඔවුන්ගේ කැමරා කාචයට සංගීත කණ්ඩායම, ඔවුන්ගේ පිළිකුල් සහගත සංගීතයට හෙළුවැලි නැටුම් නටනා බුරි ඩාන්ස් කණ්ඩායම,. ඒම සිදුවීම දෙස දැහැනට සම වැදී සිටින ලස්සන කෙල්ලෙක් දෙන්නෙක් සහ පිටුපස මෙලෝ සිහියක් නැතුව නර්තනයේ යෙදෙන තරුණ පිරිස් හසුවේ.

මෙලෙස පටිගත වෙන සංදර්ශනය ඩිවිඩි තැටි ලෙස නිකුත් වන අතර ඒම සංදර්ශන බස් රිය තුල විශේස ආකාරයෙන් පෙන්වීම හේතු කොටගෙන මෙම සංදර්ශන සඳහා බස් සංගීත සංදර්ශන ලෙස නම් ලැබී ඇතැයි මාගේ මතයයි.


සෑම ගමකම මෙලෙස තරුණ පිරිස් සංගීත සංවිධානය කරන අතර ඇටැක් ෂෝ ලෙස ගමකට එරෙහිව නොදෙවෙනි ආකාරයෙන් තවත් ගමක සංවිධානය කරන සංගීත සංදර්ශන හඳුන්වනු ලබයි.

මෙවන් මියුරු සංගීත සංදර්ශන දිනපතා නැරඹීමේ භාග්‍ය ඇත්තේ ලාංකිකයන් වූ අපිට පමණක් වන අතර. සියල්ල පරිහානිය කරා ගමන් ගන්නා මෙම යුගයේ සංගීත කලාව තුල සිදුවන්නාවූ මෙම පිබිදීම සම්බන්ධව අපි ප්‍රීති වියයුතුද දුක් වියයුතුද යන්න පිලිබඳ සිතිය යුතුය.

Monday, November 20, 2017

ගිටාර් පාඩම අංක 2 - ගිටාර් කම්බි මාරු කරන්නේ කොහොමද ?

සතියේ සිකුරාදා නිවාඩුවක් ලැබෙනවා කියන්නේ ඉතින් මල් නේ. අන්න එහෙම සිකුරාදා නිවාඩුවක් තියෙන සතියක බ්‍රහස්පතින්දා හවස් වරුවක පොඩි නින්දක් එහෙම දාල තේ එකක් බිබී ඉද්දි දුරින් පේනවා රුවක් ඇදෙනවා අපේ ගේ දිහාට. පොඩ්ඩක් ඉවසල ගේ ලඟට එනකන්ම හිටිය මොකාද මේ නිවාඩු ෆන් එක කන්න එන එකා කියල බලන්න. බැලින්නම් මගේ  පාප මිත්‍රය. කලින් පෝස්ට් එකක කිව්වේ ගිටාර් එකක් ගත්ත එක්කෙනා. මගේ මිත්‍රය නිකන් නෙමෙයි අවේ අර මන් හොයල දීපු හිරමනෙත් අරගෙන. ( මේ වන විට ගිටාර් එක හිරමනයක් බවට පත් කර අමිහිරි සද්දයක් ඒ තුලින් ලබා දීමට මගේ යාළුවා දක්ෂයෙක් වී ඇති බව කරුණාවෙන් සලකන්න. )

මොකෝ බන් මේ ගිටාර් එකත් උස්සගෙන යක්කු ගස් නගින වෙලාවේ.

මේකේ කම්බියක් කඩල බන් නංගි, මන් ගෙදර හිටපු නැති වෙලේ. කම්බි සෙට් එකකුත් අරගෙනමයි  අවේ. දාල දීපන් බන් හොඳ කොල්ල වගේ.  

හරි ගනින්කෝ බලන්න ගිටාර් එක.

ගිටාර් එක කේස් එකෙන් එලියට ගත්තම බොක්ස් එකේ එහෙම පොඩ්ඩක් දුවිලි. කඩෙන් ගත්තට වඩා පොඩ්ඩක් හොඳට තිබ්බ. ඒ වෙලේ තමා මම තීරණය කලේ ගිටාර් එකට කම්බි දාන පාඩම මගේ යාලුවට කියල දෙන්න.

ගිටාර් එකට අලුතෙන්ම කම්බි දානවනම් මුලින්ම ගිටාර් එකේ තියෙන කම්බි ටික ගලවන්න ඕනේ. තියෙන කම්බි ගලවද්දී මුලින්ම ටියුනින් කීස් වලින් කම්බි බුරුල් කරලා ගිටාර් එකේ බොක්ස් එකේ කම්බි සවිකරලා හිරකරලා තියෙන පින් ටික ගලවගන්න ඕනේ. පින් ටික ගලවද්දී අඩුවක් වගේ එකක් භාවිතා කරනවානම් වඩාත් හොඳයි.

දැන් ඔක්කොම කම්බි ටික ගලවල. දැන් තමයි අපිට හොඳටම ගිටාර් එක සුද්ද කරගන්න පුළුවන්. ඒ නිසා ගිටාර් එකේ බොක්ස් එක හොඳට පිහදාල ෆ්රෙට් බෝඩ් එක පිහදාල පොලිෂ් ටිකක් එහෙම ගෑවට කමක් නෑ මේ වෙලාවේ. මොකද කම්බි දාල තියෙද්දී ඔය වගේ දේවල් කරන්න ටිකක් අමාරුයි.
ගිටාර් එක සුද්දකරගෙන ඉවර උනාට පස්සේ කම්බි දාන වැඩේ කරන්නේ. මුලින්ම කම්බි සෙට් එක අරගෙන. පැකින් එහෙම කඩල කම්බි ටික හරි විදිහට හොයාගන්න ඕනේ. කම්බි වල නම් තියෙන්නේ E1 , B2 , G3 , D4 , A5 , E6 විදිහට. මේ කම්බි ටික පිලිවලටම ගන්න ඕනේ. හීනිම කම්බිය තමයි E1 කියන්නේ මහතම කම්බිය තමයි E6 කියන්නේ හීනිම කම්බිය යටතත් මහතාම කම්බිය උඩටත් එන විදිහට පිලිවලට තමයි කම්බි ටික අපි ගන්න ඕනේ.

කම්බි ටික අපි දාන්න පටන් ගන්නේ මහතම කම්බියෙන්. මුලින්ම කම්බියේ මුද්ද වගේ තියෙන කෙලවර ගිටාර් එකේ බ්‍රිජ් එකේ හිල ඇතුලට දාල පින් එකෙන් තද කරගන්නවා.


ඕන නම් පොඩ්ඩක් ඇදල බලනවා හරියට හයි වෙලාද කියල. ඉන්පස්සේ කම්බිය ටියුනින් කී එක වෙනකන් දිග ඇරලා මුල් ටියුනින් කී එක නෙමෙයි දෙවැනි ටියුනින් කී එක වෙනකන් දිග අරගෙන දෙවැනි ටියුනින් කී එක ලඟින් කම්බිය කපනවා. ඉන්පස්සේ පළවෙනි ටියුනින් කී එකේ හිලට කම්බිය දාල කම්බිය හිලෙන් පනින්නේ නැතිවෙන්න ඇඟිල්ලෙන් හිලේ එක පැත්තක් වහගෙන වටයක් කම්බිය කරකෙනකන් ටියුනින් කී එක කරකවල ඉන්පස්සේ හොඳ තදට කම්බිය ඇදගෙන කම්බිය හයි කරනවා. හැමතිස්සෙම කම්බි ටික එලියට කැරකෙන විදිහටයි අපි ටියුනින් කී එක කරකවන්න ඕනේ.


මේ විදිහට තමයි අනිත් කම්බි ටිකත් හයි කරගන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ එක පාරටම කම්බි ටික තද කරන්නේ නෑ. ටික ටික තමයි එහෙම කරන්න ඕනේ. මොකද නැත්නම් ගිටාර් එකට හානි වෙන්න පුළුවන් නිසා.


දැන් අන්තිම පියවර ඒ තමයි ගිටාර් එක ටියුන් කරගන්න එක. මේකට ගිටාර් ටියුනර් එකක් පාවිච්චි කරන්න ඕනේ. ස්මාර්ට් ෆෝන් වලින් නම් ඇප් එක ගන්නත් පුළුවන්. ගිටාර් එක ටියුන් කරද්දීත් E6 ඉඳන් යටට තමා ටියුන් කරන්නේ.



ගිටාර් එක ටියුන් කරද්දී සම්පුර්නෙන් ම කම්බි 6 තුන් පාරක් වත් ටියුන් කරන්න ඕනේ මොකද උඩ කම්බි ටියුන් කරලා යටට යද්දී අපහු උඩ කම්බි වල ටියුන් අඩු වෙන නිසා.

ඔය ටික කරලා ඉවර වෙද්දී ගිටාර් එක ටියුන් වෙලා ප්ලේ කරන්න සුදුසු මට්ටමට තියෙනවා.

ඔන්න මචං උඹේ ගිටාර් එක ගහන්න දැන් පුළුවන්. දැන් ගහපන්කෝ බලන්න ලස්සන සින්දුවක් දැන් ගිටාර් එක අරන් සති දෙකක් විතර වෙනවනේ.

අනේ බන් ගිටාර් එක ගෙනිච්චට මන් දන්නේ නෑ බන් ප්ලේ කරන්න මේක ඉතින් අතගගා ඉන්න එක තමා කරන්නේ මම.

අනේ බන් බකමුනෝ ඕක තියෙන්නේ අතගාන්න නෙමෙයි වෙලාවක එනවකො කෝඩ් එහෙම තුනක් විතර කියල දීල සිංදුවක් ගහන්න කියල දෙන්නම්.


මගේ යාලුවට සින්දුවක් ගහන්න කෝඩ් කියල දීපු කතාව ඊළඟ පෝස්ට් එකකින් බලාපොරොත්තු වන්න....

Thursday, November 16, 2017

ඔලුව අවුල් කරන රූබික් කියුබ් - Rubik's cube

එතකොට මන් 11 වසරේ. අපේ ක්ලාස් එක දාල තිබ්බේ ප්‍රින්සිපල්ගේ රූම් එකට උඩ තට්ටුවේ. මොකද ඒ තරම් අපි හොඳයි. අපේ ක්ලාස් එකට ඉස්සරහින් පහල තට්ටුවේ තිබ්බේ එලේවල් මැත්ස් ක්ලාස් ඒක. ඒ කියන්නේ ප්‍රින්සිපල්ගේ රුම් එකට ඉස්සරහ. මොකද උන් අපිට වඩා හොඳයි. ඔය මැත්ස් ක්ලාස් එකේ හිටිය නියම ඩයල් ටිකක්. ඒ ටිකදෙනා තමයි ඒ කාලේ නියම නියම ලෙඩ අපේ සෙට් එකට බෝ කලේ. දවසක් එක අයිය කෙනෙක් ( නම කියන්නේ නෑ ) අතේ තියාගෙන හිටිය නියම භාණ්ඩයක්. ඒ තමයි රූබික් කියුබ් එක. 

මැත්ස් ක්ලාස් එකේ සෙට් එක ඉතින් වට වෙලා ඕක කරකවන දිහා ඉතින් බලන් ඉන්නවා. පහුවදා වෙද්දී රූබික් කියුබ් 3 ක් විතර මැත්ස් ක්ලාස් එකේ. ආරංචි මාර්ග පවසන ආකාරයට මේ වන විට සෙට් එක වටවෙලා කියුබ් එක හදන එක නෙමෙයි බලන් ඉන්නේ ඉක්මනටම හදන්නේ කව්ද කියන එකයි බලන් ඉන්නේ.

ඔය අතරේ අපේ පංතියේ එකෙක් පොඩි පොඩි ඔත්තු සේවා ඔස්සේ ඔය රූබික් කියුබ් එක තියෙන තැන හොයාගෙන අපේ පන්තියටත් එකක් අරන් අවා. දැන් මිනිහ තරම් එකෙක් නෑ. හැබැයි ඉතින් හදන්නත් බෑ. ඉතින් මූ කරපු වැඩේ අඬල අඬල කොහොමහරි අයියලාගෙන් ඕක හදන විදිහ අහගත්තා. මටත් ඉතින් රූබික් උණ හැදුනේ ඔය කාලේ තමා.

මොකක් ද මේ රූබික් කියුබ් එහෙම නැත්නම් රූබික් කැටේ කියල කියන්නේ.

රූබික් කියුබ් කියන්නේ සමාන පැති 6ක් තියෙන කැටයක් ඒ කියන්නේ ඝනකයක්. හරියට දාදු කැටේ වගේ. ඒත් මේ කැටේ පැති 6 තියෙන්නේ පාට 6ක්. ගොඩක් වෙලාවට ස්ටිකර් අලවල තියෙන්නේ. සුදු , කහ , නිල් , රතු , කොළ , තැඹිලි කියන පාට ටික තමා සම්මත රූබික් කැටේ තියන්නේ. රූබික් කැටේ එක පැත්තකට කොටු 9 ගානේ බෙදල තියෙන්නේ. මැද කොටුව කිසිම විදිහකට වෙනස් කරන්නවත් කරකවන්නවත් මේ කියුබ් එකේ බෑ හැබැයි අනිත් කොටු ටිකනම් කැමති කැමති විදිහට කරකවන්න පුළුවන්. එහෙම කරකවන්න පුළුවන් වෙන්නේ රූබික් කියුබ් එකේ ඇතුලේ තියෙන පොඩි ගැජට් එකකින් සම්පුර්ණ කොටු ටිකම අල්ලාගෙන ඉන්න නිසා.

රූබික් කියුබ් එකේ ඉතිහාසය ගත්තම මුලින්ම මේ කියුබ් එක හොයාගත්තා කියන්නේ මහාචාර්ය Ernő Rubik. මේ මහාචාර්යවරයා ගෘහනිර්මාණ ශිල්පියෙක්. 1974 තමයි මේ රූබික් කියුබ් එක එතුමා නිර්මාණය කරන්නේ. මුල් කාලේ මේ රූබික් කියුබ් එක හඳුන්වලා තියෙන්නේ මැජික් කැටේ කියන නමින්. 2009 ජනවාරි වෙනකොට මේ රූබික් කියුබ් එක ලෝකය පුරා මිලියන 350 පමණ විකුණලා තියෙනවා. ඒ වගේම අදවනවිට ලෝකය පුරා වැඩිම ප්‍රමාණයක් විකුණපු සෙල්ලම් බඩුව වෙන්නෙත් මේ රූබික් කියුබ් එක. 2003 වසරේ ලෝක අන්තර්ජාතික රූබික් කියුබ් සංවිධානය පිහිටුවල තියෙන අතර එය මගින් තරඟ රාශියක් සහ නිල වාර්තා පිහිටුවීමක් කර තියෙනවා.

පසු කාලීනව මේ 3x3 රූබික් කියුබ් එක විවිධ ආකාරයෙන් නිර්මාණය උනා ඒ කියන්නේ 2x2 , 4x4 , 5x5 , 6x6 සහ 7x7 ලෙස. නමුත් සම්මත රූබික් කියුබ් එක වන්නේ 3x3 කියුබ් එකයි.


මෙම රූබික් පෙහෙලිකාව විසඳීමට ඇල්ගොරිදම භාවිතා කරනු ලබනවා. එහිදී කොටු සහ තීරු කරකැවිය යුතු ආකාරය සඳහන් වෙනවා. එලෙසම රූබික් කියුබ් එකේ කොටු සහ තීරු නම් කිරීමක් සිදු වෙනවා. ඇල්ගොරිදම භාවිතයෙන් රූබික් කියුබ් එක විසඳනවා නම් වඩාත් යෝග්‍ය වෙන්නේ සම්මත රූබික් කියුබ් එකක් භාවිතා කරන එක.

සම්මත රූබික් කියුබ් එකක් ලේසියෙන්ම අන්තර්ජාලය ඔස්සේ ebay හරහා ගෙන්වාගන්න පුළුවන්. 1$ - 10$ දක්වා ebay එකේ රූබික් කියුබ් තියෙනවා. මෙහෙන් ගන්නවානම් ගුණසේන ලුමිනෙක්ස් වැනි පොත් සාප්පු වල ලබාගන්න පුළුවන්.


කොහොම කොහොම හරි මමත් රූබික් කියුබ් එකක් ගත්ත. ඉන්ටනෙට් එක පීරලා හදන විදිහත් හොයාගත්ත. දෙතුන් දෙනෙක්ට කියලත් දුන්න. ඔලුව අවුල් කරගන්නේ නැතුව කියුබ් එක හදන විදිහ මේ විරාමයෙන් අනතුරුව............

Monday, November 13, 2017

ගිටාර් පාඩම අංක 1 - පාවිච්චි කරපු ගිටාර් එකක් තෝරා ගන්නා විදිය.

මගේ යාලුවෙක් හිටිය ගිටාර් ගහන්න ගොඩක් ආසයි. ඉතින් ඩයල් එක සල්ලි ටිකක් එහෙම හොයාගෙන ගියා ගිටාර් එකක් ගන්න. කොල්ල පොඩ්ඩක් මහන්සි වෙලා දෙයක් හොයාගන්න එහෙම කම්මැලී. මේක කරපු වැඩේ කෙලින්ම ගියා මොරටුවේ Yamaha එකට ගිටාර් එක ගන්න. හවස් වෙලා මූ එනවා මූණ දෙක කරගෙන.

මොකෝ බන් වෙලා තියෙන්නේ මූණත් නරක් කරගෙන මොකෝ උනේ.

නෑ බන් Yamaha එකට ගියා ගිටාර් එකක් ගන්න. වැඩක් නෑ බන්.

ඒ මොකෝ,

පට්ට ගණන් බන් ගිටාර්. ඔව්ව ගන්න ජොබ් දෙකක් වත් කරන්න වෙයි. හැබැයි කොල්ලෝ පට්ට ගිටාර් ටිකක් තිබ්බ එතන. ගිටාර් ටික නම් දිලිසෙනවා. පට්ට ඩිසයින් තියෙන ස්ටිකර් ටිකකුත් අලවල තිබ්බ.

සද්දේ එහෙම කොහොමද ගිටාර් වල.

ගහල බැලුවේ නෑ බන්. ලස්සන ගිටාර් වල ගණන් අහල අවා. ඒ ගිටාර් ටික මාර ගණන්. ඔක්කොම තිස්දාහෙන් උඩ මගේ අතේ තියෙන්නෙත් දහදාහයි.

උඹ මහා මෝඩයෙක් බන් ලස්සන බලල කොහොමද ගිටාර් ගන්නේ. සද්දෙනේ බලන්න ඕනේ. හෙට ලෑස්ති වෙයන් මන් ගිටාර් එකක් හොයල දෙන්නම්.

ඔන්න ඉතින් මන් මගේ අතිජාත මිත්‍රයවත් එක්කගෙන පහුවදා ගියා ගිටාර් එකක් හොයාගෙන. හැබැයි කියලමයි එක්කගෙන ගියේ ලස්සන ගිටාර් නම් හම්බෙන්නේ නෑ හැබැයි සද්දේ ලස්සන නියම ගිටාර් එකක් සෙට් කරන්නම් කියල.

අපේ ගෙවල් පැත්තේ තැන් දෙකතුනක්ම තියෙනවා ජපානෙන් බඩු ගෙන්නන. ඉතින් මමයි යාළුවයි දෙන්න ලැස්ති වෙලා ගියා ඒ වගේ ජපන් බඩු ගෙන්නන තැනකට. එතන තියෙනවා ගිටාර් පෝලිමට තියල. හැබැයි ඉතින් Yamaha එකේ වගේ නෙමෙයි ගිටාර් වල කම්බි එහෙමත් නෑ දුවිලි තට්ටු 2 වගේ තියෙනවා. මකුළු දැල් එහෙම පොඩ්ඩයි තියෙන්නේ එව්වා වල. මේක දැකපු යාළුවගේ මූන දැක්කම කියන්න වචන නෑ ඒ තරම් සුන්දරයි.

දැන් තමයි කොහොමද හොඳ ගිටාර් එකක් හොයාගන්නේ කියන පාඩම යාලුවට මම කියල දුන්නේ.

මුලින්ම කරන්න ඕන දේ තමයි ඇද වෙච්ච නැති ගිටාර් එකක් හොයාගන්න එක. ගිටාර් එකේ බොක්ස් එක පැත්තේ කෙළවරෙන් කෙලින්ම බැලුවම හොයාගන්න පුළුවන් ඇද වෙලාද නැද්ද කියල. ඊට පස්සේ බලනවා ගිටාර් එකේ බොක්ස් එකට හානි වෙලාද කියල ගොඩක් වෙලාවට මෙහෙම තැන්වල ගිටාර් වල බොක්ස් එකට තමා හානි වෙලා තියෙන්නේ මොකද කිසිම පරිස්සමක් නැතුව එහෙමෙහෙ වද්දනවනේ ගිටාර් එක මේ වගේ තැන්වල වැඩ කරන අය. බොක්ස් එක හරි නම් ගිටාර් එකේ Arm එක බොක්ස් එකට සෙට් වෙන තැනයි Arm එකයි කම්බි සෙට් වෙන කෑල්ලයි ගාව පුපුරලා පලුදු වෙලා තියෙනවද කියල බලන්නේ. ඒ දෙක  හොඳට තියෙනවනම් ගිටාර් එක 50% ගන්න සුදුසු මට්ටමක තියෙනවා.

දැන් කරන්න ඕනේ ගිටාර් එකට කම්බි ටික දාල Tune කරන එක. ( වැඩේ දන්න නිසාම කම්බි සෙට් එකයි Tuner එකයි ගෙදරින්ම අරන් ගියේ ) Tune කරද්දී අපි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ මොකද ගොඩක් වෙලාවට ගිටාර් වල දිරුම් තිබිල බොක්ස් එක Arm එක ඇද වෙනවා වගේ දේවල් ඒ වෙලාවට වෙන්න පුළුවන්.

ගිටාර් එක Tune කරගත්තට පස්සේ ඉතින් පොඩ්ඩක් ගහල බලන්න තමා තියෙන්නේ. ගහල බලද්දී හොඳට බලන්න ඕනේ කම්බි ගිටාර් ෆ්රේට් වල වදිනවද වෙනකොහෙහරි කම්බි වැදිලා වෙන වෙන සද්ද එනවද. එහෙම නැත්නම් කම්බි ටික ෆ්රේට් බෝඩ් එකත් එක්ක ඕනවට වඩා උඩින්ද තියෙන්නේ කම්බි අල්ලන්න අමාරුද, කියන දේවල් ඔක්කොම බලන්න ඕනේ ඔය වෙලාවේදී.

දැන් තමා අන්තිම සහ වැදගත්ම එක. ඒ තමයි ගිටාර් එකේ සද්දේ. හැමෝටම තමන්ට රුචි හඬක් තියෙනවා. එත් මේ වෙලාවේදී බලන්න ඕනේ ඇත්තටම ගිටාර් එකකට ගැලපෙන සද්දයක් එනවද කියන එක. ගොඩක් ගිටාර් වල එන්නේ නිකන් ටකරන් සද්දයක්. ඉතින් එහෙම ටකරන් සද්දයක් එන්නේ නැති ගිටාර් එකක් තාම කොහොම හරි හොයාගන්න ඕනේ.

මේ ඔක්කොම කරාට පස්සේ 100% ම ගිටාර් එක ගන්න සුදුසුයි.

ගොඩක් ජපන් පරණ බඩු විකුණන තැන්වල තියෙනවා හොඳ ගිටාර්. ඒ ගිටාර් වල ගාණත් 6000 – 10000 අතර වෙනවා. ගාන මුලින් බලල ගිටාර් තෝරනවද එහෙම නැත්නම් ගාන බලල ගිටාර් එක තෝරනවද කියන එක නම් ඔයගොල්ලන්ගේ වැඩක්.

අපිනම් මුලින් 8000 – 10000 අතර තිබ්බ ගිටාර් ටික අරගෙන කලින් කිව්ව පිළියම් ටික කරලා ගිටාර් එකක් තෝරගත්ත. වාසනාව තිබ්බොත් ලස්සන ගිටාර් එකක් හොයාගන්නත් පුළුවන්.


මගේ යාළුවා අන්තිමට 8000 කට Moris ගිටාර් එකක් අරගෙන මට පින් දිදී ගෙදර ගියා. හැබැයි මේ වදකාරයා ගිටාර් එක අරගෙන නැවතුනේ නෑ. කම්බි දාන හැටියි ගිටාර් එක ප්ලේ කරන හැටියි ඔක්කොම ඉගනගත්තේ මගෙන් ඒ කතා ටික ඉස්සරහට දාන පෝස්ට් වලින් බලාපොරොත්තු වන්න.